"ඔබ පියමැන ආවේ සුදු අරලියා මල් වැටුණු පාසල් මාවතේ නිස්සංසලේ ය. සසල වූයේ මා ය. මගේ අසරණ හදවත ය. ලා හිරු රැස් ඇහැළ ගස් අතරින් බේරී ගුරු පාරට වැටී තිබුණි. මා උන්නේ දිය සෙවල බැඳුණු ක්‍රීඩාගාරයේ පියගැටපෙළ උඩ ඉඳගෙනය. මා මුලින්ම දැක්කේ ඔබව නොවේ. ඔබේ සුදු කැන්වස් පාවහන් දෙකය. තුත්තිරි මල් දෙතුන් දාහක් ඇණුනු ඔබේ සුදු මේස් දෙකය. හදවත ගොස් නැවතුනේ ඔබේ දහදිය මල් පිපුණු නළලත මතය. පාසල් සුවඳ දිගේ තවමත් මම ඉවකරමින් යන්නෙමි. අප හමුවූ අප ආදරය කළ උසස් පෙළ ‘ආට් දෙක’ පංතියට තවමත් මම ආදරය කරමි. ඔබ සිසුවිය නොවේ. ප්‍රේමයේ කුළුඳුල් පාඩම ඉගැන්වූ ඇඳුරුතුමිය ය. අති නිර්මල වූ ප්‍රථම ප්‍රේම භාවනාවේ කමටහන ය. මම දෑස පියාගෙන යළිත් සිහිකරමි. මගේ ජීවිතයේ උදාවූ ප්‍රථම වසන්ත කාලයේ නෙත් අද්දර විකසිත ප්‍රථම කුසුම ඔබය. ප්‍රේමයේ පරාගනයට පරාග රැගෙන ආ දුප්පත් සමනළ ආත්මය මම ය. බෙහෝ දවස් ගෙවී ඇත. අතීතයට ගොස් මම මගේ පොඩි සුදු කමිසය ගෙන බලමි. උසස් පෙළ අවසන් දිනයේ ඔබ එහි ලියූ නිල් කාබන් ඇකුරු තවමත් එහෙමමය. ප්‍රථම වසන්තය කොතරම් සුන්දර ද? මම සිහිකරමි."