"අහිංසා ඇගේ කෙට්ටු දෙඅත්ල එකට අතුල්ලා උණුසුම් කරගෙන පසුව එය සීතලෙන් ඇකිලීගිය මුහුණ මත තබාගත්තාය. නුවරඑළියට අද උදාවී ඇත්තේ තද සීතල හැන්දෑවකි. අද දවසටම එක අව් රැල්ලක් පෑව්වේ නැත. දහවල තිබූ මන්දාරම දැන් මීදුම් සමඟ යාළුවී වැහි තුහිනයක් මවා ඇත. අපේ කතා නායිකාව වූ අහිංසා දැන් සෑහෙන වෙලාවක සිට ඉන්නේ ඇගේ කාමරයේ කොනක තබා ඇති වල බැස්ස පැරණි කුෂන් පුටුවේ වාඩිවීගෙන ඔහේ කල්පනා කරමිනි. යුවතිය ඇඳගෙන ඉන්නේ බතික් මෝස්තරයේ කෙටි සායක් හා සුදු ටී ෂර්ට් එකකි. මේ හවස් යාමය කොතරම් සීතල වුවද තවමත් අහිංසා ඇගේ සනීප ස්වීටරය දමාගත්තේ නැත. ඒක දාගන්න එකත් ඇයට සතුටකි. ඒ සතුට ඇය තියාගෙන ඉන්නේ ටිකක් රෑ වූ පසු විඳින්නටය. ජීවිතය එහෙමය. ජීවත්වෙන්නේ පුංචි පුංචි දේවල් ටිකක් එක්කාසු කරගෙන හරි අමාරුවෙනි. මේ ඇස් නොපෙනී ගිය දවසේ සිට අහිංසා රන්දුනු ජීවිතය දෙස බැලූවේ එහෙමය. හරි දුක හිතෙන විදිථහකටය. ඇය මේ තට්ට තනියම කාමරයට වී මොනවා හිතනවාදැයි කිසිවෙක් දන්නේ නැත. කිසිවෙක් ඇගෙන් අසන්නේද නැත. ඉඳහිට හෝ අහන්නේ කෙල්ලගේ ආවතේව වලට සිටිනා නෝනම්මා පමණි. ඇගේ දුක්බර ජීවිත කතාවේ ඉතිරි අඩ ලියවෙන්නේ කෙසේද? දෙනුවන් නොපෙනන යුවතියගේ ජීවිතයට දෙනුවන් එන්නේ කවදාද?"