"කෙනෙක් දකින්නේ නැතුව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුළුවන්ද? එහෙම කතාවක් කොහොමද විශ්වාස කරන්නේ? ආදරය කියන්නේ හැඟීම් මාත්‍රයක්නම් ඒ අල්පමාත්‍රය ඇතිවෙන්න රූපයක් දකින්නම ඕනෙද? කිසිම දිනයක හැබැහින් නොදුටු දෙවියෙක්ව බැතිමතුන් කොතරම් විශ්වාස කරනවාද? ජීවිතයේ දුෂ්කරම වෙලාවක එහෙම දෙවියෙක් ළඟට ගිහින් අපි මොනතරම් දේවල් ප්‍රර්ථනා කරනවද? එතන තියෙන්නේ කොහොම ආදරයක් ද? මොන වගේ භක්තියක් ද? අපේ කතාවේ නිබ්බුතා ආදරය කරන්නට පටන්ගන්නේ එසේ කෙනෙක්ව නොදැකය. සීමිත වූ හැඟීම් මාත්‍රයක් හදවතින් එක්කාසු කරගන්නා ඇය අසීමිත ප්‍රේමයකින් ගැබ්බරව උන්නාය. කිසිම දිනයක දෑසින් නොදුටු කෙනෙක් වෙනුවෙන් නෙත කඳුළු පුරවාගත්තාය. බොළඳ ය. ළාමක ය. ඒ තරමටම ආදරණීය ය. එක් සීතල මද්දහනක ඔවුන් හමුවෙයි. ඒ දියතලාව හමුදා පුහුණු කඳවුරේ උස් පයිනස් ගස් යටදීය.  තම හදවත විසින් මවාගත් රුව, හෘද නාලිකා විසින් බදා වැළඳගත් ප්‍රේමනීය දෑස එයම බව නිබ්බුතා සහතික කරගත්තාය.  නිබ්බුතා නවකතාව, අතිශය බොළඳයැයි ලෝකය විසින් හඳුන්වන මටසිළිටි යෞවනයේ සදාදරණීය හැඟීම් මාත්‍රයක් සිංහල අකුරු පොකුරක රඳවන්නට ගත් අහිංසක උත්සාහයකි. මේ මුදු කොමළ ප්‍රේමයේ පද රචනාව රළු හදවත් ඇත්තෙකුට විහිළුවකි. සැබෑ ආදරණිය හදවතකට මල් තවානකි. නිබ්බුතා එවන් ආදරණීය හදවත්වලට විඳින්නට ආරාධනා…!