"මේ එකසිය විසිපහ බස් රූට් එකේ ලතා හොටෙල් ඇන්ඩ් බෝඩිං හවුස් එකයි. මිනිස්සු කියන්නේ ලතාගේ හෝටලේ හෝටලයක් නෙමේ දිව්‍ය ලෝකයක් කියලයි. එක වේලක්වත් ලතාගේ හෝටලයෙන් කෑවේ නැත්නම් ජීවත්වෙනවා කියලා දැනෙන්නේ නෑ කියලයි ගොඩක් අය කියන්නේ. ටවුන් එකේ ඉඳලා මෙතනට කිලෝ මීටර් බාගයක් විතර තියෙනවා. ඒත් බොහෝ දෙනා ටවුමේ ඉඳලා මේ ටික ඇවිදගෙන එන්නේ මතක් කළත් රස ඉතිරෙන කැකුළු බත් එක කන්න. ඒකට ලතා ගන්නේ හොඳම මාතර රෝස කැකුළු හාලයි. බත ලස්සනයි. ලා රෝස පාටයි. ගොඩක් අය කියන්නේ රෝස කැකුළු එකේ පාටයි ලතාක්කගේ දුවගේ මූණේ පාටයි එකයි කියලයි. කෙල්ල ඇත්තටම රෝස පාටයි. පුංචි කාලේ මීටත් වඩා රෝස පාටයි. ඒකයි ලතා ආදරේට කෙල්ලට රෝසි කිව්වේ. පස්සේ කෙල්ලට ඒ නමම රෙජිස්ටර් වුණා. කෙල්ලට ඇවිත් තියෙන්නේ ඉස්සර කෙල්ල කාලේ ලතාගේ ලස්සනයි. ඒ දවස්වල ලතා වසන්ති චතුරාණි වගේ. සුදුම සුදුයි. රෝසි වෙනස්. වෙනස් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස්. කෙල්ල හිතලා ජීවත්වෙන්න ආස නෑ. ජීවත්වෙලා හිතන්නත් ආස නෑ. හිත හිත ජීවත්වෙන්නත් ආස නෑ. දවසක හිතන ටික කෙනෙක්ට දීලා එයාව බදාගෙන හින්දි හිට් එකක් දාගෙන සාලේ ඩාන්ස් කරන්නයි කෙල්ලට ඕන. එක දවසක උදේක ලතා හෝටලයට කෙනෙක් එනවා. හාස්කමකින් වගේ මේ එන කෙනා කෙල්ලගේ බ්ලැක් ඇන්ඩ් වයිට් ලෝකයම සමනළ වර්ණයෙන් සිතුවම් කරනවා. ඔහු කවුද? ඇයි ලතාගේ හෝටලයටම ආවේ. කවුද දන්නේ?"