"මම ශ්‍රී වෙමි. සම්පූර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුළඟත් සමඟ හැදුනෙමි. ජීවිතයේ හැම දුකක්ම විඳගෙන මම උසස් පෙළ ලිව්වෙමි. දවසක විශ්ව විද්‍යාලයට ඇතුලත්වී වෛද්‍යවරියක් වීම මගේ අපේක්ෂාව විය. එහෙත් මගේ සිහින බොඳවිය. තාත්තාට අවශ්‍යව තිබුනේ ඔහුගේ එකම වාසනාව වූ ප්‍රින්ස්ට මාව දී ජොනී වෝකර් හැන්දෑව රස විඳින්නටය. උණවටුන වෙරළ කලාපයේ අඩ නිරුවතින් නිදාගෙන සිටිනා ජර්මන් සුද්දියක් ළඟින් ඇලවී, ඇයගේ නිරුවත් ලන්සි දෙකළවාවල සන්ස්ක්‍රීම් දමා පිරිමදින, රාත්‍රියට ඇයගේ තාවකාලික කුලී පෙම්වතා වන, උපත් පාලන කොපුවක් නිතර දෙවේලේ සාක්කුවේ දමාගෙන යන,  අතරමං වූ ගාල්ලේ බීච් බෝයිගේ සදාකාලික ජීවන සහකාරිය වීම මගේ ජීවිත කතාව නොවේයැයි මම ඇදහුවෙමි. අවසානයේදී මම අද, සෙනසුරාදා උදේ ගාල්ලට සදහටම සමු දුනිමි. මට මගේ කියන්නට ගාල්ලේ කිසිවක් නැතැයි මම සිතුවෙමි. ගාල්ලේ සවුත්ලන්ඩ් පාසලේ, මහ වීදියේ, ගාල්ල කොටුවේ ගෙවී ගිය මගේ අහිංසක දුප්පත් ළමා වියේ මතකයන් හදවතේ තුරුල්කරගෙන මම දක්ෂිණ අධිවේගයෙන් දැන් කොළඹ එන්නෙමි."