මම ශ්‍රී වෙමි. සම්පූර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුළඟත් සමඟ හැදුනෙමි. ජිවිතයේ හැම දුකක්ම විඳගෙන මම උසස් පෙළ ලිව්වෙමි. දවසක විශ්ව විද්‍යාලයට ඇතුලත් වී වෙද්‍යවරියක් වීම මගේ අපේක්ෂාව විය. එහෙත් ශ්‍රී ගේ සිහින බොඳවිය. තාත්තාට අවශ්‍යව තිබුනේ ඔහුගේ එකම වාසනාව වූ ප්‍රින්ස්ට මාව දී ජොනී වෝර්කර් හැන්දෑව රස විඳින්නටය. උණවටුන වෙරළ කලාපයේ අඩ නිරුවත් නිදාගෙන සිටිනා ජර්මන් සුද්දියක් ලඟින් ඇලවී, ඇයගේ නිරුවත් ලන්සි දෙකලවාවල සන්ස්ක්‍රීම් දමා පිරිමදින, රාත්‍රියට ඇයගේ තාවකාලික කුලී පෙම්වතා වන, උපත් පාලන කොපුවක් නිතර දෙවේලේ සාක්කුවේ දමාගෙන යන, අතරමං වූ ගාල්ලේ බීච් බෝයිගේ සදාකාලික ජීවන සහකාරිය වීම මගේ ජීවිත කතාව නොවේයැයි මම ඇදහුවෙමි.